මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ වෙනම සිර මැදිරියක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඔහු එම වාට්ටුවේ මීට පෙර රදවා සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.
එහිදි සිදුකළ ප්‍රතිකාරවලින් අනතුරුව යලිත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඔහු මාරු කර යැවුණා.
එම රෝහලේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා යළි වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මීට පෙර වසරකට අධික කාලයක් දුමින්ද සිල්වා රදවා තැබුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි.
එහිදී ඔහුට විශේෂ පහසුකම් ලබාදී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් එම පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයෙන් කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට නිරීක්‍ෂණ වූ බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.
බන්ධනාගාර රෝහල තුළ දුමින්ද සිල්වා රදවා සිටියදී ඔහුට පමණක් කිසිදු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නොමැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
රෝගී වන සෑම රැදවියකු බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිදේශයන්ට අනුව එම රැදවියා නේවාසික ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරනු ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
රෝගියා වැඩිදුර ප්‍රතිකාර සදහා රජයේ රෝහලක් වෙත යොමු කිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදුකරනු ලබනවා.
එවන් පසුබිමක් තුළ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කිරීමේ උත්සාහය පිරිසක් නිරත වී සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත පැමිණිලි කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් බන්ධනාගාර ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලබාදෙන මුදල් මත මෙම අසත්‍ය පුවත් මුදාහරින බවද අනාවරණ වී තිබෙනවා.
ඊට ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරිගේද සහය හිමි වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
එම නිලධාරීන් පිළිබද අනාවරණ කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක් කරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.