විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරකට අනුව මහනුවර, සුදුහුම්පොල ප්‍රදේශයේදී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි සුදුහුම්පොළ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරන රුපියල් එක් ලක්ෂ 30,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකට්පත් විකිණීමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් සහ ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.