ඔන්මැක්ස් ඩී ටී පිරමීඩාකාර මූල්‍ය ක්‍රමයේ මුදල් ආයෝජනය කර මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට, මුදල් ආපසු ගෙවීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කර තිබෙන නැවත මුදල් ගෙවීමේ ක්‍රමවේදයට මෙම අවස්ථාවේදී එකඟ විය නොහැකි බව නීතිපතිවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, ඔන් මැක්ස් ඩී ටී සමාගමේ තැන්පත්කරුවන් විසින් තැන්පත් කළ රුපියල් කෝටි 5,000කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂවරු 12 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා විසින් එම දැනුම්දීම සිදුකළා.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ මෙම සැකකාර අධ්‍යක්ෂවරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී රුපියල් කෝටි ගණනක දේපළ පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවයි.
එම විමර්ශනවලට අදාළව ලැබුණු තොරතුරු මත වැඩිදුර විමර්ශන කිරීමේදී තවත් කෝටි ගණනක් වටිනා දේපළ හමුවීමේ ඉඩකඩ පවතින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එම සම්පූර්ණ දේපළ පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නා තුරු දැනට ඉදිරිපත් වී තිබෙන මුදල් නැවත ගෙවීමේ ක්‍රමවේදයට එකඟ විය නොහැකි බවත් සඳහන් කර තිබෙනවා.
මෙම නඩුවේ වෛද්‍යවරයෙකු යැයි කියන සැකකරුවකු විසින් එක් දිනකදී රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් ඉඩම් 19ක් මිලදී ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ඇතුළු පනත් කීපයක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.