Monday, February 24, 2025

General line - 0115112241

හොර වෛද්‍යවරයෙකුට අධිකරණය දුන් නියෝගය



රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකුට එරෙහිව රුපියල් 1,500ක දඩ මුදලක් සමග බරපතල වැඩ සහිත මාස 06ක සිර දඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවා තිබෙනවා. 

ඒ, පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

සාරික්කමුල්ල, සමගි මාවතේ සැකකරු විසින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානය 2023 ජූනි 27 වනදා වටලනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

එහිදී ව්‍යාජ මුද්‍රා භාවිත කරමින් රජයේ වෛද්‍යවරයෙකු ලෙස ඇඟවෙන ආකාරයට ප්‍රතිකාර කළ 30 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලිස් ස්ථානයට භාර දී තිබුණා. 

ඊට අදාළ නඩුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී විත්තිකාර එම පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ පුද්ගලයා චීනයේදී වෛද්‍ය උපාධිය හදාරා ඉන් සමත්ව දිවයිනට පැමිණ ඇති බවයි. 

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විභාගයට පෙනී සිට ඇතත් මෙතෙක් සමත් වීමට අපොහොසත් වී තිබෙනවා. 

එම විභාගය සඳහා ඔහු යළිත් පෙනී සිටීමට කටයුතු කරන බවයි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. 

කෙසේවෙතත් ඔහු අතින් වරදක් සිදුව ඇති බවට පිළිගන්නා බවද එම නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.