Monday, February 24, 2025

General line - 0115112241

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි - ජනපති



තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ  ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකදී 

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවයි 

තවද ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කර සිටියා 

ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක  වූයේ  කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවද පවසා සිටියා 

මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම  රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින  බවත්, අද ඩිජිටල්කරණය  නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.

මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.