කොළඹ ප්‍රධාන විදුලි පද්ධතියට අයත් පානදුර “ග්‍රිඩ් උපපොළේ” ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකල අතර ඒ සඳහා පැය කිහිපයක් ගත වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා පැවසුවේ.
විදුලි බිඳ වැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම තත්ත්වය හේතුවෙන් ජල පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණි බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
පැවති තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිටත් ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධති ක්‍රියාත්මක වීමේ ගැටළු මතු වුණා.
ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලටද සුළු වශයෙන් බාධා එල්ල වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාත්මක වීමේදී එම ගැටළු මතුව තිබෙනවා.
විදුලිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය ස්ථානවල නිවේදන කටයුතුවලටද බාධා එල්ල වුණා.