Monday, February 24, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට අමිහිරි ටෙස්ට් පරාජයක් අත්කර දුන් ඕස්ට්‍රේලියාව ක්‍රිකට් වාර්තා රැසක් අලුත් කරයි



ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව ලැබූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය වාර්තා පොත් අලුත් කර තිබෙනවා. 

ඒ අනුව එම ජයග්‍රහණය වාර්තා වූයේ 2011 වසරෙන් පසු ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව ලැබූ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලෙසයි. 

නේතන් ලියොන් එහිදී ටෙස්ට් කඩුලු 550හේ සීමාව පසුකළ අතර ටෙස්ට් කඩුලු 550ක් දවාගත් තුන්වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්වුණා. 

එමෙන්ම ඔහු ආසියාවේදී කඩුලු 150ක් ද සම්පූර්ණ කළ අතර එය ආසියානු නොවන පන්දු යවන්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වනවා. 

ආසියාවේ පැවති ටෙස්ට් තරගාවලියකදී ඕස්ට්‍රේලියාව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලබන්නේ සිව්වන වරටයි. 

මීට පෙර ඔවුන් එවැනි දස්කමක් දැක්වූයේ 2006දී බංග්ලාදේශ කණ්ඩායම දෙකට බින්දුවක් ලෙස පරාජය කරමින්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව විසින් මේ දක්වා ටෙස්ට් ජයග්‍රහණ 05ක් වාර්තා කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩාංගනයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ටෙස්ට් ජයග්‍රහණ සංඛ්‍යාව ද මෙය වනවා. 

මීට පෙර පාකිස්තාන කණ්ඩායම විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ජයග්‍රහණ හතරක් ලබාගෙන එම වාර්තාවට හිමිකම් ලබා සිටියා.

එම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ වසර දෙක තුළ ඕස්ට්‍රේලියාව ලබා ඇති ජයග්‍රහණ ගණන 33ක් දක්වා ඉහළ ගිය අතර ජයග්‍රහණ 32ක් ලබා එංගලන්තය බිහිකර තිබූ වාර්තාව එහිදී බිද වැටුණා.

පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද එම තරගාවලියේදී වාර්තා අතරට එක් වීමට ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් සමත් වුණා. 

පන්දු රකින්නෙකු ලෙස ඔහු එහිදී උඩ පන්දු 200ක් රැකගත් ක්‍රීඩක සමාජයටද එක් වුණා. 

ඒ අනුව කඩුලු රකින්නෙකු නොවන ක්‍රීඩකයෙකු විසින් වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයින් 04 දෙනා අතරට ඔහුගේ නම ඇතුළත් වුණා. 

රාහුල් ඩ්‍රාවිඩ් උඩ පන්දු 210ක්, ජෝ රූට් උඩ පන්දු 207ක් සහ මහේල ජයවර්ධන උඩ පන්දු 205ක් ලබා ගනිමින් ඔහුට ඉදිරියෙන් පසුවනවා.