Monday, February 24, 2025

General line - 0115112241

ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

ටී කේ ජී කපිල



තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද පෙරවරුවේ පිටත්ව ගියා. 

නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඇතුළු උසස් නිලධාරින් 13 දෙනෙකු එම සංචාරයට එක් වූ බවයි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයට එක්ව තිබෙනවා. 

ඩුබායිහි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමතීමට නියමිතයි. 

ඊට රටවල් 150ක් නියෝජනය කරමින් 4,000කට අධික පිරිසක් සහභාගී වනු ඇති.

ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා.

එමෙන්ම සිය සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ්  බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරුන් හමුවීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.