Monday, February 24, 2025

General line - 0115112241

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරේ



ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍ය බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව දැඩි ලෙස අවධානය කර තිබෙනවා. 

ඒ වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එම කමිටුවේ සාමාජිකයින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් වූ අවස්ථාවේදීයි. 

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍ය ආරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සකස් කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම එම කමිටුවේ අරමුණයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිවැරදි දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවධානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් එහිදී අවධාරණය කර තිබෙනවා. 

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම කෙරෙහි ද එහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

වී මිලදී ගැනීම පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබාදී තිබෙන ණය පහසුකම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසු විපරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.