Saturday, March 15, 2025

General line - 0115112241

චරිත්ගේ හුදෙකලා ශතකයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සමත් වුණා. 

තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු 05 පන්දුවාර 14ක් තුළ දැවී ගියේ ලකුණු 55ක් තුළයි. 

පසුව පිටියට එක්වූ නායක චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුවා. 

ඒ, 06වන කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩනඟමින්. 

වෙල්ලාලගේ ලකුණු 30කට දැවී ගියා. 

පසුව පිටියේ හුදෙකලා සටනක නිරත වූ නායක චරිත් අසලංක ලකුණු 127ක් රැස් කළේ පන්දු 126කින්. ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 14ක් අතුළත් වුණා. 

එය චරිත්ගේ 04වන එක්දින ශතකයයි. 

චරිත් සහ එෂාන් මාලිංග අතර නවවන කඩුල්ල සඳහා ගොඩනැඟුණු සබඳතාව ලකුණු 79ක්. 

නමුත් එෂාන් මාලිංග පන්දු 26ක් තුළ සිය කඩුල්ල බේරා ගනිමින් නායකයාට උපරිම සහයක් ලබා දුන්නේ නොදැවී එක් ලකුණක් රැස් කරමින්.

ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 33යි පන්දු 05කදී ලකුණු 165ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

ඇලෙක්ස් කේරි ලකුණු 41යි. 

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 40කට කඩුලු 04ක් බිඳහෙළුවා. 

අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. 

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලබන 14වනදා පැවැත්වීමට නියමිතයි.