Sunday, February 23, 2025

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.      

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවති දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174කින් ජය ගනිමින්. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 281ක්. 

විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් හතරේ පහර 11ක් සමගින් ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුණා. 

නායක චරිත් අසලංක පන්දු 66කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 78ක්. 

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා. 

නිශාන් මධුෂ්ක ලකුණු 51යි. පන්දු යැවීමේදී බෙන්ජමින් ඩුර්ෂුයිස්, ඇරන් හාර්ඩි, ෂූන් ඇබට් සහ ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 
 

ජයග්‍රාහී ලකුණු 282ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු දෙකක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණයි. 

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ස්ටීවන් ස්මිත් රැස් කල ලකුණු සංඛ්‍යාව 29ක්. 

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 04ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ වනිඳු හසරංග අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා. 

තරඟයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවූ අතර තරඟාවලියේ වීරයා සම්මානය නායක චරිත් අසලංකට හිමි වුණා.