යුද හමුදා සාමාජිකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර යුද හමුදාව භාරගයට ගැනීම සම්බන්ධව යුද හමුදා මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ක්‍රියාමාර්ගය හුදෙක්ම යුද හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගනු ලැබූ පරිපාලනමය ක්‍රියාමාර්ගයක් බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
ඒ අනුව යුද හමුදාවේ මේජර් සහ ඉන් පහළ අයවලුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබා ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් ගමගේ මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු එම නිවේදනයේ දැක්වෙන්නේ.
උපුටා ගැනීම.
“බොහෝ විට යුද්ධ හමුදාව වෙතින් ඉහත සඳහන් නිලයන්ට අයත් අයවළුන් විදෙස් පුහුණුවීම් සහ සාමසාධක රාජකාරි සඳහා නිරන්තරයෙන් යොමු කරවන අතර, එම අවස්ථාවන් සඳහා වන පරිපාලන කටයුතු වෙනුවෙන් නන් අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඉතා කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම, ඒවායේ වලංගුභාවය හා නිවැරදිභාවය තහවුරු කිරීම වැදගත් වේ.
නමුදු ඉහත බොහෝ අයවලුන් රාජකාරි කරනු ලබන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශවලවන බැවින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිවෙස්වල තිබීම හේතුවෙන් ඉතා කඩිනමින් එම ගමන් බලපත්‍ර යුද හමුදා මූලස්ථානය වෙත ඉදිපත් කිරීමට ඔවුන් හට අපහසු වන අතර ඒ හේතුවෙන් යුද හමුදා මූලස්ථානය හටද විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ.
එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් උපදෙස් නිකුත් කර ඇති අතර එමඟින් එම ගුවන් ගමන් බලපත්‍රවල ආරක්ෂාව ද සුරක්ෂිත වන අතරම පරිපාලන කටයුතු විදිමත්ව සිදු කිරීමට පහසු වේ.
කෙසේ නමුදු අවැසි ඕනෑම අවස්ථාවක තම විදේශ ගමන් බලපත්‍රය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබා ගැනීමට එම සාමාජිකයින් හට අවස්ථාව ලබාදී ඇත.”
උපුටා ගැනීම අවසන්.