Saturday, February 22, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා රිමාන්ඩ් - රියදුරා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඊට අමතරව එම ඝාතන සිද්ධියේ වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබා දුන්නා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ පුද්ගලයාට සහාය වූ බව කියන කාන්තාව සමග සම්බන්ධතා පැවැත් වූයේ යැයි සැකපිට පාදෙනිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු වන ඇතුගලගේ ලහිරු ප්‍රසන්න නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට අමතරව සිද්ධිය වූ දින පෙරවරුවේ වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් මාකවිට ප්‍රදේශයේ පදිංචි දොන් ජනක උදය කුමාර නැමැති රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබුණා. 

සැකකාර පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් කරමින් තමා මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

තමා සැකකාරිය සමඟ කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත් ඔහු පවසා තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළව දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටින දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ලබා දෙන ලෙස දුරකථන සමාගම් කිහිපයකට නියෝග කර තිබෙනවා.