Saturday, February 22, 2025

General line - 0115112241

“ඔන් මැක්ස් ඩී ටී” පරිගණක ඉංජිනේරුවා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

උදය කුමාර



“ඔන් මැක්ස් ඩී ටී” පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පරිගණක ඉංජිනේරුවකු වන ගයාන් චාමර වික්‍රමතිලක නැමති සැකකරු මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ “ඔන්මැක්ස්” පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීම මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මේ තුළින් ඔහු විශාල මුදලක් අත්පත් කරගෙන තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, සැකකරු මේ තුළින් කිසිදු ප්‍රතිලාභයක් උපයාගෙන නොමැති බවයි.

ඔහුගේ ජීවිතයට එල්ල වී තිබූ තර්ජන නිසා ඔහු මෙරටට නොපැමිණි බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ, සැකකරු විමර්ශවලට සහය දීමට සූදානම් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කළා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.