Saturday, February 22, 2025

General line - 0115112241

 “ක්ලීන් ශ්‍රී ලංකා” පාසල් වැඩසටහන ඇරඹේ



රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ආරම්භ කර තිබෙනවා.        

“අපේ ඉස්කෝලේ ක්ලීන් කරමු - රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබාදීම සිදු කරනු ලබනවා.

ඒ අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල අත්‍යාවශ්‍ය අලු‍ත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ තවත් පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ලබන මාර්තු මාසය අවසන් වන විට පාසල් දහසම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ, මහවත්ත, ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී එම වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.