Sunday, February 23, 2025

General line - 0115112241

නාරාහේන්පිට අමිල ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

උදය කුමාර



අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහේන්පිට අමිල නැමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකල බවයි.

සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින බවත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙන බව පොලිසිය පැවසුවා.

එමෙන්ම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට පවතින සම්බන්ධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි එහිදී පොලිසිය පැවසුවේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.