Wednesday, March 26, 2025

General line - 0115112241

ලබන වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන බව අගමැතිනිය කියයි



පළමු ශ්‍රේණිය සහ හයවන ශේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට 2026 වසර ආරම්භයේදී බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

වත්මන් පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන සිසුන්ට පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයෙන් මිදීම සඳහා වෙනස්කම් රැසක් සිදු කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. 

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමග පාර්ලිමේන්තුවේදී පැවති හමුවකදීයි.

ඔවුන් විසින් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන් සැලකිල්ලට ගෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සැකසූ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවලියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ශක්තිමත් කිරීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන මට්ටම් හඳුන්වාදීම ආදී බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.