Monday, February 24, 2025

General line - 0115112241

කොටහේනේ වෙඩි තැබීම් දෙකකට ආයුධ සැපයූ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙම වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම වසරේ සිදු වූ වෙඩි තැබීම් 11ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් විසින් සිදුකල වෙඩි තැබීම් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර පසුගිය 21 වනදා කොටහේන පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මෝදර පොලිස් වසමේ මෙත්සඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බව අනාවරණ වී තිබෙනවා.

කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට මෙම සැකකරුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන ගොස් එම අපරාධය සඳහා ගිනි අවිය සහ පතොරම් ලබාදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 10 වනදා කොටහේන පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබාදී ඇත්තේ මෙම සැකකරු බවට විමර්ශනවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.