Monday, February 24, 2025

General line - 0115112241

එක්දින ලකුණු දහ හතර දහස සම්පූර්ණ කරමින් කෝලි ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් බිඳ හෙලයි



ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු 14,000 වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ, එක්දින ඉනිම 287කදී ලකුණු 14,000 සීමාව පසුකර යමින්.

මීට පෙර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු 14,000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්. ඔහු එක්දින ඉනිම 350කදී ලකුණු 14,000 සම්පූර්ණ කර තිබුණා. 

එක්දින ලකුණු 14,000 සම්පූර්ණ කර ඇති අනෙක් එකම පිතිකරුවා වන්නේ හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි. ඔහු එක්දින ඉනිම 378කදී ලකුණු 14,000 සම්පූර්ණ කර තිබුණා.

විරාත් කෝලි මෙම වාර්තාව පිහිට වූයේ අයි සී සී චැමිපියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානු කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේදීයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 04කදී සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 42යි පන්දු 03කදී කඩුලු 04කට ලකුණු 244ක් වාර්තා කරමින්. සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය විරාත් කෝලි පන්දු 111කදී නොදැවී ලකුණු 100ක් රැස් කළා.

එය ඔහුගේ 51 වන එක්දින ශතකයයි.

ඒ අනුව විරාත් කෝලි මේ වන විට එක්දින ක්‍රිකට් තරගවලදී රැස් කරගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 14,085ක්.

ඒ අනුව ඔහු එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර මේ වන පිටුපසින් සිටින්නේ සචින් ටෙන්ඩුර්කාර්ට සහ කුමාර් සංගක්කාර්ට පමණයි.