Monday, February 24, 2025

General line - 0115112241

ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක් පත් කෙරේ



නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එම මහත්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන චන්දන සූරියබණ්ඩාර මහතා වසර 30කට අධික කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ  සුවිශේෂී කා©භාරයක් ඉටු කර තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ  ප්‍රාමාණික දැනුමක් සහිත සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙකුද වනවා.

දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නා.

ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු ද වනවා.