Thursday, February 27, 2025

General line - 0115112241

මග නැගුම හිටපු නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ්

උදය කුමාර



මග නැගුම ආයතනයේ හිටපු නිලධාරින් දෙදෙනෙකු ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, මග නැගුම ආයතනයේ මුදල් සාපරාදී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි ගොනුකර ඇති නඩුවකට අදාළවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගන්නා ලද මග නැගුම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

2012 වසර සහ 2015 වසර අතර කාලසීමාව තුළ ව්‍යාජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙසයි ඔවුන්ගේ නීතිඥවරුන අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරුවන් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.