පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් මිලියන 245ක් එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට අදාළව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙන බවයි.
ඉන් පසුගිය ජනවාරි මස 31 වන දා වන විට රුපියල් මිලියන 245 ක මුදලක් වන්දි වශයෙන් වින්දිතයින්ට ගෙවා තිබෙන බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව ප්‍රහාරයෙන් විඳිතයින් බවට පත්ව පුද්ගලයින් 412 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවා තිබෙන බවත් ඊට මියගිය පුද්ගලයින් 215 දෙනෙකු ඇතුළත් වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කලා.
ඒ අනුව අධිකරණ නියෝග මත ලැබුණු වන්දි මුදල් වලින් තවත් මිලියන 65 ක් ඉතිරිව තිබෙන බවත් ඒවා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන වින්දිතයින් සහ වින්දිත වැඩිහිටියන්ගේ රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා.
මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වන්දි ගෙවීම් කටයුතු වලට අදාල සවිස්තර වාර්තා තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කළා.
මෙම වාර්තා පෙත්සම්කාර පාර්ශ්වයට ලබා නොදුන්නේ ඇයි දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගෙන් ප්‍රශ්න කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම නඩුව අද කැඳවනු ලබන්නේ වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට බවත් සිහිපත් කළා.
එහෙත් එම වාර්තා පෙත්සම්කාර පාර්ශ්වයට ලබාදී නොතිබීම නිසා මෙම නඩුව අද දින කැඳවීමේ අරමුණ ඉටු නොවන බවයි අගවිනිසුරුවරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ.
ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් කාදිනල්තුමන් ඇතුළු පෙත්සම්කාර පාර්ශවයට නොපමාව ලබාදෙන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම කටයුතු විමසා බැලීම සඳහා මෙම නඩුකරය ලබන මැයි මස 21 වනදා කැඳවන බවත් නියෝග කලා
උදය කුමාර/--