Friday, February 28, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ දිනය තීරණය කිරීම ලබන සතියේ - මැතිවරණ කොමිසම කියයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන සතියේ රැස්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ලබන සඳුදා හෝ අඟහරුවාදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවයි.

පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා ජුනි මස දෙවනිදා දක්වා කල් පවතින බැවින් ඊට පෙර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

ඉදිරියේදී සාමාන්‍යපෙළ විභාගයද පැවැත්වීමට නියමිත බැවින් එම විභාගයටද බලපෑමක් ඇති නොවන ආකාරයට ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ඒ අනුව අද දිනයේ සිට මාර්තු 28වනදා පස්වරු 03 දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.