Sunday, March 30, 2025

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොරටුව, ශාන්ත රීටා මාවතේ සිදු කළ වැටලීමකදී එම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 06ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 03ක් සහ රක්ෂණ සහතික 03ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සමග පොලිස් භාරයට ගත් යතුරුපැදිය පසුගිය 21වනදා කොටහේන පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට යොදා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අදාළ යතුරුපැදිය ඉකුත් 14වනදා මාලඹේ ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවයි අනාවරණ වී ඇත්තේ.

එම යතුරුපැදිය සොරාගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.