Saturday, March 1, 2025

General line - 0115112241

අධිකරණ තුළ ගොඩගැසුණු නඩු ලක්ෂ 11 ඉක්මවයි



අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු 1,131,818ක් පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් පළමුවරට රැස්වූ අවස්ථාවේදීයි.  

එහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා ඇත්තේ දිවයින පුරා පොලිස් කොට්ඨාස මගින් ලැබෙන අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ, අපරාධ අංශයට අනියුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හි නඩු 6,286ක් ද වශයෙන් නඩු 1,131,818ක් පවතින බවයි එම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී ඇත්තේ. 

නිතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්, පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්‍ෂව ප්‍රමාණවත් නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම අවුරුදු 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 06 දෙනෙකු පමණ මෙම වසර තුළ සේවය හැර යන බවද ඔහු එහිදී පැවසූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.