1994 වසරේ සිට කොළඹ මහනගර සභාවේ භුක්තිය හිමි බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහනගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
මෙම කරුණු අනාවරණ වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරික්‍ෂා කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් කැඳවා තිබෙනවා.
එහිදී කරුණු දක්වමින් විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
එහිදී කාරකසභාව හමුවේ පෙනී සිටි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පවසා ඇත්තේ කූඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට අදාළ සේවකයා උත්සහ කළද එය සාර්ථක නොවීම හේතුවෙන් ඒ පිළිබඳ දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජීවිත තර්ජනවලට පවා නතු වීමට තමන්ට සිදුවූ බවයි.
1994 වසරේ සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිත කිරීම වෙනුවෙන් මිලියන 41ක අලාභයක් කොළඹ මහනගර සභාවට සිදුව ඇති බවද නාගරික කොමසාරිස්වරිය පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කළ යුතු බව කාරක සභාව යෝජනා කර තිබෙනවා.
ඒ අනුව අදාළ නගර සභා සේවකයා විසින් රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිත කරමින් සිදු කරන එම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදු කර සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට උපදෙස් ලබා දී තිබෙනවා.