Tuesday, March 18, 2025

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්



රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළදී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම හෝ උසස් කිරීම හෝ මාරු කිරීම සීමා කිරීම, සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලුම නිලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන ව්‍යවස්ථා සංශෝධනයේ 104 (ආ) 4 (අ) ව්‍යවස්ථා අනුව “මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ඡේදය තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක්” යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ තෝරාපත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමේ හෝ වළක්වාලීමේ කාර්යය සඳහා යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ විසින් භාවිතා කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට හිමි වනවා.

ඒ අනුව එම ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කරනු ලබන එවැනි විධානයකට අනුකූල වීම සහ ක්‍රියාත්මක කිරීම තත් කාලයේ රජය සතු දේපළ භාරව සිටින හෝ පාලනය දරන සියලුම නිලධාරින් බැඳී සිටින බවද එම නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

එවැනි විධානයක් උල්ලංඝනය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඬුවම් ද්විත්වයම ලබාදීමට හැකි වරදක් බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම හඳුන්වා දී ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.