Tuesday, March 18, 2025

General line - 0115112241

සාම ගිවිසුමට ලෝක බලවතුන්ගෙන් රුසියාවට බලපෑම්



යුක්‍රේනය සමග සාම ගිවිසුමකට එළඹෙන ලෙස රටවල් රැසකින් රුසියාවට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.

ප්‍රංශය සහ බි්‍රතාන්‍ය ඒ අතරින් ප්‍රධානයි.

ඔවුන් අවධාරණය කරන්නේ යුක්‍රේනය මෙන් සාම ගිවිසුමක් අවශ්‍ය බව රුසියාව ද දැන් ඔප්පු කර පෙන්විය යුතු බවයි.

සටන් විරාම ගිවිසුමකට යුක්‍රේන ජනාධිපතිවරයා සතුව ඇති ධෛර්යය රුසියානු ජනාධිපතිවරයා සතුව ද තිබිය යුතු බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අභියෝග කර තිබෙනවා.

ඇති තරම් මරණ, දේපළ විනාශ වී ඇති බැවින් දැන් තුවක්කු නිහඬ කිරීමට කාලය බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ.

බි්‍රතාන්‍ය ද පවසා ඇත්තේ සම්පූර්ණ සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට රුසියාව එකඟවිය යුතු බවයි.

කෙසේවෙතත් සාම ගිවිසුමක් පිළිබඳ කිසිදු බැරෑරුම් එකඟතාවක් සම්බන්ධයෙන් කිසිදු සලකුණක් රුසියානු පාර්ශවයෙන් මෙතෙක් පෙනෙන්නට නොමැති බවටයි බි්‍රතාන්‍ය මේ අතරතුර චෝදනා කර ඇත්තේ.

බි්‍රතාන්‍ය මෙන්ම ප්‍රංශය මෙලෙස අදහස් පළ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර තීරණාත්මක දුරකතන සංවාදයක් අද පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි.

ඊට පෙර ට්‍රම්ප් ද පවසා ඇත්තේ සෑම සතියකම දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 2,500ක් පමණ මියයාම දැන් අවසන් විය යුතු බවයි.