Wednesday, March 19, 2025

General line - 0115112241

එක්සත් ජනරජ පෙරමුණ නාම යෝජනා භාර දෙයි



මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණ බලයට පත් වන ආයතන සඳහා ඒ ඒ පළාත් පාලන ආයතන තුලින්ම මුදල් සොයාගෙන ඒවා දියුණු කරන ක්‍රමයක් හඳුන්වා දෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියා.

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ‘පැන්සල’ ලකුණින් තරග කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිපික රණවක මහතා

“අද දිනයේත් හෙට දිනයේත් රට පුරාම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා අපි නාමයෝජනා භාරදෙනවා. 

අපි බලාපොරොත්තු වෙනවා කොළඹ තියෙන සියලුම මහ නගර සභා, ඒ වගේම නගර සභා, ප්‍රාදේශීය සභාවලට නාම යෝජනා භාරදෙන්න. 

සෙසු දිස්ත්‍රික්කවලත් ඒ කටයුත්ත සමාන්තරව කෙරෙනවා.
 
විශේෂයෙන්ම අපි මෙතනදි අවධාරණය කරනවා අපි අපේ අමාත්‍යාංශ කරන වකවානුව තුළ මේ නගරවල තිබිච්ච තීරණාත්මක ප්‍රශ්න විසඳපු පිරිසක් විදියට තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. 

අද කොළඹ නගරයේ කැලිකසල ප්‍රශ්නය, මේ අවට කලාපයේ කැලිකසල ප්‍රශ්නය අපි විසඳන්න කටයුතු කළා. 

ඒ වගේම අපි නව සැලැස්මක් ඉදිරිපත් කරනවා. 

අපි හඳුන්වලා දීපු පිළිසරු වැඩපිළිවෙළට සමාන්තරව රටේ අපි තරඟ කරන සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වලම කැලි කසල ප්‍රශ්නය වැඩිදුරටත් නවීකරණය කරලා විසඳීම සඳහා වැඩපිළිවෙලක්. 

ඒ වගේම කොළඹ නගරයේ අපවිත්‍ර ජල ප්‍රශ්න විසඳීම සඳහා අපි වැඩපිළිවෙළක් ගෙනිච්චා. ඒකෙ ව්‍යාපෘති හයයි කළේ. 

ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අත්හැර දමනු ලැබුවා. 

ඒ සියලුම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මහ නගරයේ මූල්‍ය අවශ්‍යතාව අපි ගොඩනගමින්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

කොළඹ නගරයේ කාණු පද්ධති, ඇළ මාර්ග පද්ධති සහ අනෙකුත් නගර සභාවල කාණු පද්ධතිය, ඇළ මාර්ග පද්ධති විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. 

ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා අපි විවිධ ස්ථානවල, වෙළෙඳ මධ්‍යස්ථාන හැදුවා. 

මැනිං වෙළඳපොළක් ඇති කළා. 

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා වෙන වෙළඳ සංකීර්ණ පද්ධතියක් ඉදි කරන්නත් අපි කටයුතු කරනවා. 

ඒ සියල්ලටම ඉහළින් අපි ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නෑ. 

මේ සංවර්ධන කටයුතු සඳහා අදාළ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා තුළින්ම මුදල් උත්පාදනය කරන නව ක්‍රියාදාමයක් අපේ සභිකයින් හරහා හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. 

අපි එහෙම නගරාධිපතිවරුන් හරහා මේ පුද්ගලයෝ පෙන්නලා ගන්නේ නැහැ. අපි හොඳ කණ්ඩායමක්, දක්ෂයින්ගේ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. 

කතා කාරයෝ නෙවෙයි. 

දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. 

ඒ වගේම අපිට අත්දැකීමක් තියෙනවා. 

මේ කොළඹ නගරයේ විතරක් නෙමෙයි අනිත් තැන්වල වැඩ කරලා. 

ඔය අද ඉදිරිපත් වෙන අනිත් කිසි කණ්ඩායමකට මේ කොළඹ නගරයේ මූලික විසඳීම පිළිබඳ ඉතිහාසයක් නැහැ. 

අපි තමයි ඒ ප්‍රශ්නය විසඳලා තියෙන්නේ.

කැලිකසල ප්‍රශ්නය, අපජල ප්‍රශ්නය, මළ අපවහන පද්ධති, ඒ වගේම දුගී දුප්පත් ජනතාවට නිවාස සංකීර්ණ ඉදිකිරීම්, මධ්‍යම පන්තික නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඒවායේ කිසිම බලහත්කාරයක් කරන්නේ නැතුව ඒ කටයුතු කිරීම කොළඹ නගර අලංකරණය වරාය නගරය ඉදිකිරීම වගේ ඒ කටයුතු කරලා අපි ඇවිල්ලා තියෙන්නේ. 

ඒක නිසා අපිට නගරාධිපතිලගේ නම් වල ආලෝකය අවශ්‍ය නෑ. වැඩ වල ආලෝකය තියෙනවා.”