මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අට දෙනකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ, මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කාර පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නා බවට මීට පෙර අධිකරණයට ලබාදී තිබූ ප්‍රතිඥාව තවදුරටත් දීර්ඝ කිරීමට එකඟ නොවන බව සඳහන් කළා.
මෙම පෙත්සම්කරුවන් අතරින් පිරිසක් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇය සඳහන් කළා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත්, එතෙක් මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරයට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ මේ දක්වා සැකකරුවකු වශයෙන් නම් කර නොමැති සහකාර පොලිස් අධිකාරි පොලිස් අධිකාරී සිල්වා පමණක් අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ලබා දී තිබූ එකඟතාව ඊළඟ නඩු දිනය දක්වා දිර්ඝ කරන බව නියෝග කළා.
එහෙත් සෙසු පෙත්සම්කාර නිලධාරීන් සම්බන්ධයෙන් එම එකඟතාව තවදුරටත් දීර්ඝ නොකිරීමට ද අධිකරණය තීන්දු කළා.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැදවන ලෙසද නියම කෙරුණා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 06 දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇපෑලක් මෝසමක් ඉදිරිපත් කරමින් භාර වුණා.
එම සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.