Sunday, March 23, 2025

General line - 0115112241

දෙවුන්දර ද්විත්ව ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට - කාන්තාවකුත් ඒ අතර



දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමට අදාළ තවත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආශ්‍රිත සීසීටීවී කැමරා දර්ශන පිළිබඳව ද විමර්ශකයින්ගේ වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වුණා.

එමෙන්ම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.

අදාළ තරුණයන් දෙදෙනා දෙවුන්දර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වී යතුරු පැදියකින් යළි පැමිණෙමින් සිටියදි ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු 39ක්, ජිව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 උණ්ඩ කොපු 03ක් සහ ජිව උණ්ඩ 01ක් පොලිස් නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන වැන් රථයක් දෙවිනුවර, වැල්ලමඩ සිට වරායට යන මාර්ගයේ දී ගිනිතබා තිබියදී සොයා ගැනුනා.

එම වෑන් රථය සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇති බවත් වෑන් රථයේ තිබූ ටී5-6 හිස් මැගසින් ඵකක් සහ ඵම උණ්ඩ කොපු 03ක් ද ගින්නට හසුව ඇති බවත් පොලීසිය පැවසුවා.

දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරන පටබැදී මද්දුමගේ ෂෙහාන් සත්සර නොහොත් ‘බාලේ මල්ලීගේ’ පාර්ශවයෙන්, ‘දෙහි ගෙදර’ පාර්ශවයේ තරුණයන් දෙදෙනෙකු එලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව කලක සිට එම පාර්ශව දෙක අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස එලෙස තරුණයන් දෙදෙනා ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.