Wednesday, March 26, 2025

General line - 0115112241

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි රිමාන්ඩ්

උපාලි ආනන්ද



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුව අද පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනාගැනීමේ පෙරට්ටුව මෙම මස 28 වනදා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළා.

පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව කල්දැමුනේ දෙවන වරටයි. මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය පෞද්ගලික හේතුවක් මත අද දිනයේ ද අධිකරණය හමුවේ පෙනී නොසිටින බව අනුරාධපුර පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ, මෙම සිද්ධිය පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වෙමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 28 වනදා දීර්ඝව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පවසා සිටියා. 

මෙම කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ලබන 28 වනදා පැවැත්වීමටත් එදින දක්වා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළා.

සැකකරු එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ද නියෝග කෙරුණා.