Wednesday, March 26, 2025

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්ට එරෙහිව ගොනු කළ නඩු විභාගය කල් යයි

උදය කුමාර



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනා ලබා සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූලි මස 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නඩුවේ දෙවන සාක්ෂිකාරිය වශයෙන් නම්කර තිබූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාගේ නිවසේ මෙහෙකාරිය වශයෙන් සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බව අනාවරණය වුණා.

තවත් සාක්ෂිකාරියක විදේශගත වීමේ අවදානමක් පවතින බවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව අදාල සාක්ෂිකාරිය වෙත යලි සිතාසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා මෙම තැනැත්තිය විදේශගත වීමට අදාල වාර්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන ඉන්සාබ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන යන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකලේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.