කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික පාර්ශවයකට විකිණූ බව කියන සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව අප්‍රේල් මස 28 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. පී. ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කාර ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කළේ 2016 වසරේ පෙබරවාරි මස 15 වන දා බවයි.
ඉන් අනතුරුව විමර්ශන අවසන් කොට 2016 වසරේ දෙසැම්බර් මස 28 වනදා විමර්ශන ගොණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් නීතිපතිවරයා වෙත භාරදුන් බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම විමර්ශන ආරම්භ වී වසර නවයකට ආසන්න කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේ අවදි වී තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම සඳහා දරණ උත්සාහය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව නීතිඥවරයා කියා සිටියා.
තම සේවා දායකයා විසින් සිදු කර තිබෙන්නේ අදාළ ඉඩමේ ඉදිකිරීම්වලට අවශ්‍ය අනුමැතිය ලබාදීම පමණක් යැයි පෙන්වා දුන් නීතිඥවරයා ප්‍රාදේශීය සභා පනත යටතේ එවැනි අනුමැතියක් දීමට ඔහුට බලය තිබෙන බවත් පැවසුවා.
ප්‍රාදේශීය සභා පනත යටතේ එවැනි අනුමැතියක් ලබා දීමට පෙත්සම්කරුට නීත්‍යානුකූල හැකියාවක් තිබෙන බවත් පොදු දේපළ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පෙත්සම්කරුට අධිකරණය හමුවට ගොස් ඉදිරිපත් වීමට නොහැකි ඇයිදැයි ප්‍රශ්න කළා.
අධිකරණයට ඉදිරිපත් වුවොත් ඉදිරිපත් වන කරුණු මත ස්වාධීනව තීන්දුවක් ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් තිබෙන බවත් සභාපති විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මෙහිදී නීතිඥවරයා යළිත් ප්‍රකාශ කළේ පෙත්සම්කරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බැවින් මීට අදාළව අභියාචනාදීකරණයෙන්ම තීන්දුවක් අපේක්ෂා කරන බවයි.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලද කැළණිය ප්‍රාදේශිය ලේකම්වරයා යටතේ තිබු රජයේ ඉඩමක පුද්ගලික පාර්ශ්වයන් විසින් ඉදිකරන ලද වෙළඳසැල් සඳහා මෙම පෙත්සම්කරු විසින් අනුමැතිය දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි ඇය කියා සිටියේ.
රජයේ ඉඩමක පුද්ගලික පාර්ශ්වයන් විසින් සිදුකළ ඉදිකිරීම සදහා පෙත්සම්කරු විසින් අනුමැතිය ලබා දෙන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙත්සම්කරු මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකර තිබෙන්නේ දැන දැනම බවත් පැවසුවා.
මෙම කටයුත්ත සදහා අනුමැතිය දීම අදාළ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී පසුව පෙත්සම්කරු මැදිහත් වී මෙම අනුමැතිය ලබාදීම සිදුකර ඇති බවත් ඇය පෙන්වා දුන්නා.
මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන් ඇප මත මුදා හැරීම මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ ඉල්ලීම් පිළිබඳ නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා.