ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස නියම කළා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙමින් තිබියදී ඊට සම්බන්ධ කරුණක් ගැන එක්තරා පුද්ගලයෙකු ප්‍රකාශ නිකුත් කර තිබෙන බව සඳහන් කළා.
එය අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව අධිකරණයේ අවධානයට යොමු කරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.
මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවේ මීට අදාළව අවශ්‍ය නම් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග අධිකරණය හමුවේ ගන්නා ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1983 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් කරන ජාතික ක්‍රිඩකින් සමග ලිඛිත ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවයි.
ඉකුත් ජනවාරි මස 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එම ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කළ බව පෙත්සමේ දැක්වෙනවා.
එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බවත් කියා සිටියා. ඔවුන්ට එවැනි හිමිකම් නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
මීට අදාළව තමන් නීති විශාරදයින්ගෙන් නීති උපදෙස් ලබාගත් බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බවත් පෙත්සම්කරුවන් පවසනවා.
එම තත්ත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.