Wednesday, April 16, 2025

General line - 0115112241

අලුත් අවුරුදු දවසේ අනතුරු තුනකින් තිදෙනෙක් ජීවිතක්ෂයට



මහවෙල, තල්ගහකොටුව ප්‍රදේශයේ නිවසක උඩු මහලෙන් ඇඳ වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග අලුත් අවුරුදු දිනයේ නැකැත් චාරිත්‍ර ඉටු කිරීම සඳහා සූදානම් වෙමින් සිටින අතරතුර එම අනතුරට ලක්ව ඇති බවයි.       

ඒ, නිවසේ උඩු මහලේ අඩක් නිමකල ස්ථානයකින් පහළට ඇද වැටීමෙන්. 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 
 

මේ අතර වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී ZD ඇලට ඇඳ වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලීසිය පැවසුවේ. 

ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එලෙස ZD ඇලට වැටී තිබෙනවා. 
 

කුලියාපිටිය, කුඹුක්කොටුව, ගනන්ගමුව අතුරු මාර්ගයේ පන්සල් හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔහු තවත් පුද්ගලයෙකු ද නංවාගෙන ධාවනය කළ යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරෙන් ඔහු සහ පසුපැදිකරු මෙන්ම ප්‍රතිවිරුද්ද දෙසින් පැමිණි යතුරු පැදියේ පැදිකරු, පසුපැදිකාරිය හා කුඩා දරුවෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙරලී ගිය යතුරු පැදියේ පැදිකරු බවයි පොලීසිය පැවසුවේ. 

ඔහු කුඹුක්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.