මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ කැබ් රථ රියදුරා හා තවත් පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් අනුරාධපුර සහ පලුගස්වැවව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මිහින්තලය පොලීසිය පැවසුවේ.
මේ අතර ඇල්පිටිය, අම්බලන්ගොඩ මාර්ගයේ කුරුළුගහ නගරයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 06ක ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා, පිටුපස අසුනේ ගමන් කළ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතරින් ජීවිතක්ෂයට පත් වූ ගැහැණු දරුවා කුරුදුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථ රියදුරා ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ පන්ලියද්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මැල්සිරිපුර පොලීසිය පවසනවා.
දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මහවෙල, අන්කන්ද ප්‍රදේශයේ සිදු වූ තවත් රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ කඳු සහිත මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පසුපසට ධාවනය වී පෙරලීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සිටි රියදුරා, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ වයස 71ක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු මඩඋල්පතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මේ අතර ත්‍රිකුණාමලය, පුත්තලම මාර්ගයේ වල්ගම්වෙහෙර ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකුගේ ගැටී තිබෙනවා.
උප්පුවේනි පොලීසිය පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු ත්‍රිකුණාමලය රෝහල ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.