Wednesday, April 16, 2025

General line - 0115112241

රනිල්ගේ ඉල්ලීමකට CIDය බැහැ කියයි



සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට පසුවනවා. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා තිබූ බවයි වාර්තා වුණේ.

රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.
 

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. 

ඒ, සැකකරුගේ නීතීඥවරයා ලෙස උදය ගම්මන්පිල මහතා කටයුතු කිරීම හේතුවෙන්. 

එම සාකච්ඡාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ සිදුව තිබෙනවා.
 

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 08 වනදායි. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කණ්ඩායමක් විසින්. 

පසුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදෙනු ලැබුවා.