Wednesday, April 16, 2025

General line - 0115112241

ආණ්ඩුව කියන විදිහට පුංචි ජන්දයෙන් පසු රට ඉදිරියට ගෙන ගිය හැකිද ? - වජිර ගෙන් පිළිතුරු



ආණ්ඩු පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු සිදු කිරීමට නියමිත ක්‍රියාදාමය ගැන විවිධ කතා කියන බවත් ඔවුන් එසේ ප්‍රකාශ කරන ආකාරයට රටක් ඉදිරියට ගෙනගිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා 

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (15) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ අලුත් අවුරුද්දෙන් පසු වැඩකටයුතු ආරම්භ කරමින් මාධ්‍යයට මේ බව පවසා සිටියා 

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍යට පවසා සිටියේ මෙවැන්නක් 

"  ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාවට යහපත් වේවා කියා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. 

විශේෂයෙන් ශ්‍රී ලාංකි සමස්ථ මහජනතාවට නැණ නුවණ පහළ වන වසරක් වේවා කියන එක තමයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රාර්ථනය වෙන්නේ. 

ඒ වගේම තව නොබෝ දිනකින් පළාත් පලන මැතිවරණය පැවැත්වෙනවා. 

එක්සත් ජාතික පක්ෂය ඊට මුහුණදෙන්න ඉතා ශක්තිමත්ව පෙළ ගැසෙමින් සිටිනවා. 

පළාත් පාලන මැතිවරණය තුළින් සෑමවිටම ලබාදෙන්නේ ඉතාම වැදගත් පණිවිඩයක්. 

අපි හිතනවා මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වෙයි කියලා. 

ඒ වගේම පාලන පක්ෂයට ලබානොදෙන සෑම ඡන්දයක්ම එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන්න කියලත් මම කියනවා. 

ඊට හේතු ගණනාවක් තියෙනවා. 

පසුගිය කාල වකවානුව ගත්තොත් රට තුළ ආර්ථික අර්බුධයක් පැන නගින හැම අවස්ථාවකදීම වගේ ඉදිරියට පැමිණ රටේ පාලන බලය අරගෙන ඒ ආර්ථික අර්බුධ කළමණාකරනය කරමින් රට ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂය විසින්. 

මම හිතනවා ඒ දේවල් ශ්‍රී ලාංකික මහජනතාව අමතක නොකරාවී කියලා. 

බොහෝ දෙනෙක් එළියට ඇවිත් විවිධ කතා කියන්න පුලුවන්. 

නමුත් හැම කෙනෙක්ම මෙහි සත්‍ය අසත්‍යතාවය හොදින් දන්නවා කියන එකයි මගේ විශ්වාසය වෙන්නේ.

ඒ වගේම ආණ්ඩු පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු කරන ක්‍රියාදාමය ගැන විවිධ කතා කියමින් තිබෙනවා. 

මම කියන්නේ ඔවුන් ඒ ප්‍රකාශ කරන විදිහට රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. 

මොකද අපි 2015 ආණ්ඩු බලය අරගෙන 2018 වසරේ පළාත් පාලන මැතිවරණයට ගියාම අපි එක්සත් ජාතික පක්ෂය විදිහට ඉන් පරදිනවා. 

එතකොට මම තමයි පළාත් පාලන ආයතන විශය බාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ. 

නමුත් පළාත් පාලන ආයතනය කුමන පක්ෂයට අයිති වුණත් රජයේ යුතුකම තමයි එය පෝෂණය කිරීම සහ මහජනතාව ආරක්ෂා කිරීම. 

ඒ අනුව පාලන යන්ත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුව තිබෙනවා. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෑම අවස්ථාවකම 1948 ගත්තත් 60 දශකයේ ගත්තත් 1977 ගත්තත් ශ්‍රී ලංකාව ඒකීය රටක් හැටියට ශක්තිමත් රාජ්‍යයක් හැටියට ආසියාවේ බලවත් රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තරයේ බලවත් රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් හැටියට කටයුතු කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය යටතේ. 

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය එක පැත්තකින් දේශපාලන පක්ෂ නිෂ්පාදනය කරන දේශපලන පක්ෂයක්. 

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට යනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. "