Monday, April 21, 2025

General line - 0115112241

දළදා වන්දනාවේ පෝළිම් කිලෝමීටර් 08කටත් වඩා දිගු වෙයි



ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ඊයේ ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත් පැවැත්වෙනවා. 

ඒ අනුව අද දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇති.

ඊයේ දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 

අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටියා. 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.  

මේ අතර අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් ඊයේ දිනයේදී මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් කලින් සැලසුම් කළ ඇතැම් කටයුතු වෙනස් කිරීමට සිදු වූ බවයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ. 

දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සැලසූ පහසුකම්වලට අමතරව ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම මුස්ලිම් දේවාස්ථානද සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කළ බව මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවා. 

මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වුණා. එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් තිබුණා. 

පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.