Tuesday, April 29, 2025

General line - 0115112241

නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර



කැස්බෑව නගර සභාව සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද කළ නාම යෝජනා පත්‍රය, ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා. 

මෙම පෙත්සම ගොනුකර තිබුණේ කැස්බෑව නගර සභාව සඳහා, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු වන එම්.ටී. රත්නසිරි ප්‍රනාන්දු විසින්.  

කැස්බෑව නගර සභාව සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ  ඇතුළත්ව  සිටින  එස්.කේ.එල්. විලේකා ද අල්විස් නමැත්තිය 2024 වසරේ ජුනි මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය තෙක් එම නගර සභාවේ සේවය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වීමට පෙර වසරක කාලයක් මේ ආකාරයට නගර සභාවක සේවය කළ අයෙකු, එම නගර සභාවේ සභික ධූරයක් සඳහා තරග කිරීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වාදී තිබෙනවා. 

ඒ අනුව එම නාම යෝජනා පත්‍රය නීතියට පටහැනි යැයි තීන්දු කර එය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට, අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නා. 

වග උත්තරකාර අපේක්ෂිකාව යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් ඉන් අනතුරුව ඡන්ද පෙත්සමක් මාර්ගයෙන් එම කරුණ අභියෝගයට ලක් කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් එම කරුණ අභියෝගයට ලක් කළ නොහැකි බවත් සඳහන් කළා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කැස්බෑව නගර සභාවට තරග කිරීම සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයට ඇතුළත්ව සිටින වග උත්තරකාර අපේක්ෂිකාව එම ප්‍රාදේශීය සභාවේ සේවය කර ඇති අතර ඇය තරග කිරීමට නුසුදුසු තැනැත්තියක් බවත් සඳහන් කළා.

මැතිවරණ නීතිය අනුව යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන අවස්ථාවක එම නාම යෝජනා පත්‍රය නුසුදුසු තත්ත්වයකට පත්වන බවත් එය නිෂ්ප්‍රභ කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එහිදී විනිසුරු මඩුල්ල ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විරෝධතාව නාමයෝජනා භාරදුන් අවස්ථාවේ ඉදිරිපත් කළේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා නාම යෝජනා භාරදුන් අවස්ථාවේ එම විරෝධතාවය ඉදිරිපත් කළත්, තේරීම් භාර නිලධාරියා විසින් කිසිදු තීරණයක් නුදුන් බවත්, ඒ අනුව මෙම නඩුකරය ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව නියෝගය කළා.