2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිශෝධනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කරනු ලැබුවා.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
UPDATE
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිශෝධනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කළා.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාර ලෙස රිය පදවා තරුණයකු බරපතල අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාල සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එවක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ,ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබූ බව තීන්දුවේ සඳහන් වුණා.
පසුව එම අධි චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විත්තිකාර පාඨලි චම්පික රණවක මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සමද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා.
ඉන් අනතුරුව කොළඹ මහාධිකරණය සහ අභියාචනාධිකරණයේ එම තීන්දු ඉවත්කොට අදාළ අධි චෝදනා පත්‍ර බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාටලී චම්පික රණවක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.
එම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහාධිකරණ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි දිලුම් තුසිත කුමාර නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලිසිය විසින් චෝදනා ගොනු කළ අවස්ථාවේදී වරද පිළිගත් බව සඳහන් කළා.
ඉන් අනතුරුව ඔහුට මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කරනු ලැබු බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
එම වාතාවරණය මත මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධනයක් ඉදිරිපත් නොකොට තම සේවාදායකයාට එරෙහිව සෘජුවම අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා විසින් ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩුකරයේ පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කිරීමට ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවයි.
ඒ අනුව මහාධිකරණය හමුවේ ගොනු කරන ලද අධි චෝදනා නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යානුකූල බවත් එය අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවද නිත්‍යානුකූල බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුවේ සඳහන් කර සිටියා.
ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් කොළඹ මහාධිකරණයට නියෝග කළා.