Thursday, May 8, 2025

General line - 0115112241

කොළඹ නගරාධිපති අපේක්ෂකයා ගැන, සජබ තීරණයක් වෙනස් වෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ අදාළ පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරු සහ සභාපතිවරු පත් කිරීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂවල යම් මත ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇතැම් දේශපාලන පක්ෂවලට බහුතර බලය නොමැති වීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි. 

මේ අතර කොළඹ නගරාධිපති ධූරය හිමිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් දේශපාලන කරළියේ විවිධ මත පළ වනවා. 

කොළඹ මහනගර සභාවේ වැඩි ඡන්ද ලබා ගනිමන් ආසන 48ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. 
 

කෙසේවෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් එම මහනගර සභාවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් ගණන 56ක්. 

ඒ අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි ජාතික ජන බලවේගයට බහුතර ආසන සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්. 

සමගි ජන බලවේගය පැවසුවේ සෙසු දේශපාලන පක්ෂ සමග එක්ව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට සිය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කරගන්නා බවයි.
 

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති ධූර අපේක්ෂා ලෙස නම් කර සිටි ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆාට එම ධූරය හිමි නොවන ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

ඊට හේතු වී ඇත්තේ ඔහු නියෝජනය කළ බොරැල්ල දකුණු කොළඹ කොට්ඨාසයෙන් පරාජයට පත් වීමයි. 

ඒ අනුව සමගි ජන බලවේගයෙන් කොළඹ නගරාධිපති ධූරයට පත් කරන තැනැත්තා රහස් ඡන්දයකින් තෝරා ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ.
 

මේ අතර නගරාධිපතිවරු සහ සභාපතිවරු පළාත් පාලන ආයතනවලට පත් කර ගැනීමේදී සිදුකල යුතු මූලික කරුණු සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා.


පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරු සහ සභාපතිවරු පත් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා කර එකඟතාවයකින් යුතුව එය සිදුකල යුතු බවයි.


යම් හෙයකින් පළාත් පාලන ආයතනවල සභිකයින් සම වුවහොත් කුසපත් ඇඳීමකින් නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පත් කිරීමට හැකියාවක් පවතින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.