Sunday, May 11, 2025

General line - 0115112241

මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටරය ගොඩගන්න මෙහෙයුමක්



මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

ඊට නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම්වල සහය ලබා ගත් බවද ගුවන් හමුදාව පැවසුවා. 

හෙලිකොප්ටර් යානයේ ඉන්ධන විසිරීම පාලනය කිරීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි. 

ඊට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේද සහය ලබාගෙන තිබෙනවා. 

එම හෙලිකොප්ටර් යානය ඊයේ උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී තිබුණා. 

මාදුරු ඔය යුද හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාළියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු එය අනතුරට ලක් වුණා. 

එම අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර තිබෙනවා. 
 

අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ අරලගන්විල රෝහල වෙතයි. 

ඉන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කෙරුණා. 
 

එහිදී හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.
 

මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් වන බලංගොඩ සැරයන් තුසිත වරන, කටානේ පදිංචි කෝප්‍රල් ලක්මාල් පෙරේරා, කුරුණෑගල පදිංචි කෝප්‍රල් ප්‍රසාද් ප්‍රේමරත්න සහ මාතලේ පදිංචි කෝප්‍රල් විමුක්ති දසනායක යන අයයි. 

එමෙන්ම හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් අවිකරුවන් වන බලපන්ති සැරයන් සනත් උදයකුමාර සහ කෝප්‍රල් මධුරංග මෙත්රුවන් යන දෙදෙනාටද දිවි අහිමි වුණා.  
 

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූ සාමාජිකයන් 06 දෙනා සම්බන්ධයෙන් පොළොන්නරුව මහරෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණ අද පෙරවරුවේ සිදු කෙරුණා. 

ඉන් අනතුරුව එම සාමාජිකයන්ගේ දේහ ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අනතුරෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සෙසු සාමාජිකයින් 06 දෙනා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා. 
 

තුවාල ලැබූ ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාද පොළොන්නරුව මහ රෝහලට පැමිණියා. 
 

මේ අතර එම හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.