Monday, May 12, 2025

General line - 0115112241

කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්



වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ සංවිධාන කර ඇති වෙසක් කලාප හේතුවෙන් නගරය තුළ ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසිය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය අද සිට 14 වනදා දක්වාද, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද සිට 16 වනදා දක්වා සහ බේබෘක් පෙදෙසේ තවත් වෙසක් කලාපයක් අද සිට 13 වනදා දක්වාද පැවැත්වීමට නියමිතයි.
 

බෞද්ධාලෝක වෙසක් කළාපය, බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භව බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා පැවැත්වෙනවා.


බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොම්පඤ්ඤවීදිය පොලීසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද, එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හි පැවැත්වෙනු ඇති.
 

මීට අමතරව, බේබෘක් පෙදෙස සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වා ද වෙසක් කලාපයක් පැවැත්වෙනවා.
 

ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමටයි නියමිතව ඇත්තේ.
 

ඒ අනුව අද සිට හෙට දක්වා කාලය තුල කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 07 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදු කරනු ලබනවා.

වෙසක් කළාපය පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුල එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බවයි පොලීසිය පවසන්නේ.
 

රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සාමාන්‍ය ලෙස දෙදිශාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන අතර ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳ සම්පූර්ණ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.