Friday, April 19, 2024

General line - 0115112241

රාජගිරියට ගුවන් පාලමක් එන්නේ මෙහෙමයි (PHOTOS)




රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර නිමාවට පත්කිරීම සඳහා අවම වශයෙන් මාස 9ක කාලයක් ගතවනු ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. වසරක් ඇතුළත මාර්ගයේ එම ඉදිකිරීම් ජනතා අයිතියට පත්කරන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ.

පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (31) සිට ආරම්භ කෙරෙනවා. මේ නිසා රාජගිරිය මංසන්ධිය හරහා වාහන ධාවනයට සීමා පැනවීමට ද සිදුවන බවයි මහමාර්ග අමාත්‍යංශය පවසන්නේ. අවහිරතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි එහි ලේකම් ඞී.සී. දිසානායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

කොට්ටාව දෙසින් පැමිණෙන වාහනවලට තලවතුගොඩින් හරවා නුගේගොඩ හරහා ගමනාන්තයට යා හැකියි. මාලඹේ දෙසින් පැමිණෙන රියදුරන්ට කොස්වත්ත ප‍්‍රදේශයෙන් මුල්ලේරියාව හරහා ගමන් කළ හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

අදාළ ගුවන් පාලම ඉදිකෙරෙන්නේ රාජගිරිය හා අවට ප‍්‍රදේශවල දැනට තිබෙන වාහන තදබදය අවම කිරීමටයි. ඒ නිසා කෙටි කලකට ඇති වන අවහිරතා කාරුණිකව ඉවසන්නැයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද මහමාර්ග අමාත්‍යංශය කියා සිටියා.

විකල්ප මාර්ග භාවිතය පිළිබඳ රියදුරන්ට පුහුණුවක් ලබාදීම සඳහා අද (30) දිනයේද රාජගිරිය මංසන්ධියේ වාහන ධාවනයට වරින් වර සීමා කිරීම් සිදුකෙරෙනවා. පාසල්වල 3වන අධ්‍යයන වාරය ආරම්භ වන හෙට දිනයේ අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම එහි අපේක්ෂාවයි.

Hammersmith_flyover_6523r i5-beltline-flyover1full RAJAGIRIYA3a-322x176 Rajagiriya-Flyover