Thursday, May 29, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර පරාසයක තද සුළං ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මේ අතර හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීම හේතුවෙන් එම ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.