Saturday, May 31, 2025

General line - 0115112241

හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි

උදය කුමාර



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබූ  නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව  විභාගය සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා 

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ  එම නඩුව අද  කැඳවනු ලැබු අවස්ථාවේදී.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

එම අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව හරක් කටා නැමැති විත්තිකරුගේ වෛද්‍ය වාර්තාවක් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරින් විසින් අධිකරණයට භාර දුන්නා. 

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි  ජේෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන සියල්ල මේ වන විට භාරදී ඇති නිසා මෙම නඩුව විභාගය සඳහා දින නියම කරණ ලෙස ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී හරක් කටා නැමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවා දායකයාට කියවීම සඳහා පුවත්පත් ලබා දෙන ලෙස මීට පෙර අධිකරණය විසින් නියමයක් නිකුත් කර තිබුණත් එම පුවත්පත් ඔහුට නොලැබෙන බව සඳහන් කළා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම විත්තිකරුට යාවත් කාලීන වන පුවත්පත් ලබා දුනහොත් ඒ හරහා ඔහුට යම් යම් පණිවිඩ ලැබීමට හැකියාව තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව සඳහන් කළා. 

කෙසේ වෙතත් පැරැණි පුවත්පත්, නවකතා පොත් ආදිය විත්තිකරුට ලබා දී තිබෙන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. 

මෙහිදී අධිකරණය විසින් විත්තියේ නීතිඥවරයා මාර්ගයෙන් කළ විමසීමකදී හරක් කටා නමැති විත්තිකරු  ප්‍රකාශ කළේ තමන්ට  මාසයකින් පමණ පුවත්පත් ලැබී නොමැති බවයි.. 

කෙසේ වෙතත් මීට පෙර අධිකරණය විසින් කළ නියෝග හා රෙගුලාසි වලට අනුකූලව ලබා දිය හැකි දේවල් ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරය විසින් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නා. 

මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් තමාට ද කටයුතු කළ හැක්කේ පවතින නීතිමය සීමාවන්ට යටත්ව බවත් ඉන් ඔබ්බට යම් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒවා ඉහළ අධිකරණ වෙත යොමු කළ යුතු බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව විභාගය සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළා