Monday, June 2, 2025

General line - 0115112241

තද සුළං කොළඹ ගස්වලට කරපු දේ.



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 
 

මේ අතර පැවති තද සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගස් 35කට ආසන්න ප්‍රමාණයක් පෙරළී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ. 


පසුගිය පැය 24 තුළ ඇදහැළුණු වර්ෂා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගාල්ල, මහනුවර කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

නායයෑම් අවදානම් හේතුවෙන් ඇතැම් ස්ථානවල පුද්ගලයින් ආරක්‍ෂිත ස්ථානවලට යොමු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.