Friday, March 29, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ අස්ථි කොටස් ලොරියකින් රැගෙන ගිහින්




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගතවීම පොදු දේපළ පනත යටතේ වරදක් බව නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) දැනුම් දුන්නා.

මෙම අස්ථි කොටස් ශීතකරණයෙන් ඉවත් කිරීමෙන් පසු ලොරියකින් රැගෙන ගොස් ඇතැයි ද සාක්ෂි තිබෙන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. අස්ථි කොටස් මෙලෙස අස්ථානගත වී ඇත්තේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ භාරයේ තිබියදී බවද නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු යනු රජයේ නිලධාරියෙකු බවද ඒ නිසා ඔහු භාරයේ තිබූ අස්ථි කොටස් පොදු දේපළක් ලෙස සැලකිය හැකි බවද නීතිපතිවරයාගේ දැනුම් දීමේ සඳහන්.

කෙසේ වෙතත් ආනන්ද සමරසේකරගේ නීතිඥයින් පැවසුවේ අස්ථි කොටස් අස්ථානගතවීම පොදු දේපළ පනත යටතේ වරදක් ලෙස අර්ථ දැක්වීම විශ්මයජනක බවයි. ආනන්ද සමරසේකර මෙහිදී අපේක්ෂිත ඇප අයදුමක් ද ඉදිරිපත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගතහොත් තමන් ඇප මත මුදාහරින ලෙසයි. ඒ පිළිබඳ තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කියා සිටියා.